Sunday, October 18, 2015

වර්ණකුලකයේ ආදරය ගිනි ගනී



ඔන්න හදිස්සියෙන්ම  පෝස්ට් එකක් දාන්න මතක් උනා.ඒ මීට සති කීපයකට කලින් අපේ කුරැටු ගෑ ගී පවුර මගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා කරපු ඉල්ලීමක් ඉෂ්ඨ කරන්න. 

ඒ අපේ වර්ණ කුලකය බ්ලොග් එක ලියන  වර්ණකුලසූරිය ලියපු ලස්සන පද පේලියක් ගීතයක් විදිහට නිර්මාණය කරන්න කියලා. 

ඇත්තටම හරිම ලස්සන පද පේලි ටිකක් ඒ පෝස්ට් එකේ තිබ්බෙ. ප්රවීන රචකයෙක්ගෙ ලක්ෂණ ඒ නිර්මාණයේ මම දැක්කා. ඉතින් මට පුළුවන් උපරිමයෙන් එම ගීතයට සාධාරණයක් කරන්න උත්සහ කලේ සම්පූර්ණ සංගීතය සහිතවම නිර්මාණය කරන ගමන්මයි. මොකද මේක මා විසින් නිර්මාණය කරපු ප්රථම විරහ ගීතය නිසා. 

නමුත් මට මේ ගීතයට වීඩියෝ එකක් නිර්මාණය කරන්න බැරිවුණා. 

මෙන්න <<මෙතන ක්ලික් කරල>> ඔන්ලයින් මේ ගීතය අහන්න පුළුවන්.

මේ තියන්නෙ ඒ ලස්සන වචන ටික.

ආදරය ගිනි ගනී
ඇගේ රුව ඇති ඇගේ සුවඳැති
මා තැනූ රෝමයම අළු අතර සඟවා
ආදරය ගිනි ගනී

ඇගේ අත් අකුරු හැඩ
විෂ ඝෝර සර්පයන්
වෙළාගෙන මා සිරුර
පෙළයි මා විෂ දළින්
හෙළා උන් ගින්දරට කෙසේ හෝ මිදෙන්නෙමි
කිසිත් කරගත නොහී වීනාව වයන්නෙමි

ඇගේ සිහිනිඟට සම
පුළිඟු වීදුරු බඳුන්
සොයාවිත් මා මුවඟ
දවයි මා මීවිතින්
හෙළා එය ගින්දරට මීවිතෙන් මිදෙන්නෙමි
කිසිත් කරගත නොහී වීනාව වයන්නෙමි