Wednesday, December 31, 2014

කලාකරුවාගේ සංවේදීත්වය සහ වසරක අවසානය.


managepintharuwa

2014 වසර අවසන් වෙලා 2015 වර්ෂය උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. ඉතින් මට හිතුන අළුත් අවුරුද්දට කලින් පරණ අවුරුද්දේ වෙච්ච සිද්දියක් ගැන කතා කරන්න. මේක පුද්ගලික තරහක් හරි එහෙම නැතිනම් කඩේ යාමක් නොවන වග ලිපිය ආරම්භයේදීම සටහන් කරන්න කැමතියි. ශ්‍රී ලාංකිකයන් වන අපට ශ්‍රී ලාංකේය කලාකරුවන් යනු බොහෝ සෙයින් වටිනා සහ ගරු කරන පිරිසකි. එය අප කාගෙන් ඇසුවත් ලැබෙන පිළිතුරකි. නමුත් කලාකරුවන් දේශපාලනය කිරීමට යාම දුක්ඛ දායක තත්වයකි. මක්නිසාද යත් කළා කරුවාගේ රාජකාරිය එහෙම නැති නම් කලාකරුවාගේ පාට් එක වෙන කෙනෙකුට කළ නොහැකි නිසාවෙනි. විශේෂයෙන්ම දේශපාලනය කිරීමට ඕනෑම උගත් හෝ නුගත් පුද්ගලයෙක් හට හැකි උනත් කලාකරුවෙකු වීම එසේ කල නොහැක්කකි. කලාකරුවෙකු සහ දේශපාලකයෙකු අතර තිබෙන ප්‍රධාන වෙනස්කම එයයි. නමුත් කලාකරුවෙකුට දේශපාලනය කිරීමට නොහැකිද? පිළිතුර වන්නේ "පුළුවන්". එහෙනම් ඒ කෙසේද? පිළිතුර, දේශපාලන ක්‍රමවේදයේ ඇති දුර්වලතා එහෙම නැති නම් වැරදි සහගත තැන් සහ හොඳ තැන් ඔවුන්ගේ මතිමතාන්තර වලට අනුව නිර්මාණයක් ආශ්‍රයෙන් ජනතාව දැනුවත් කිරීම හෝ කලාකරුවෙකු ලෙසම හිඳිමින් එම දේවල් ගැන හඬක් නැගීමයි. වර්තමානය වන විට කලාකරුවන් ජනතාව වෙනුවෙන් හඬක් නගමින් සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. නමුත් එය සිදුවන්නේ දෙපිලකට බෙදී වීම කණගාටුදායක තත්වයකි. මෙම ලිපිය මගින් කතා කිරීමට යන්නේ කලාකරුවාගේ දේශපාලනය කෙසේ විය යුතුද යන්න නොවේ. කෙසේ හෝ කිරීමට ගිය දේශපාලනයෙන් අත්වුණු තත්වයයි. 

මීට දවස් දෙකතුනකට ප්‍රථමයෙන් හරියටම කියනවනම් සල්මන් ඛාන් සහ ජැකලින්, කන්නාඩි සහ කිහිලිකරු බෙදන්නට ලංකාවට පැමිණි දවසෙ අපේ කලාකරුවන් පිරිසකට කුඹුක්ගැටේ ප්‍රදේශයේදී විරුද්ධ පාර්ශවයක් විසින් එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය ගැන ඔබ මේ වන විට අහල සහ දැකල විස්තර දන්නව ඇති. එම ප්‍රහාරය ශ්‍රී ලංකේය කලාකරුවන් පිරිසකට මෑත කාලයේදී එල්ල කරන ලද දරුණුතම ප්‍රහාරයකි. එය තරයේ හෙලා දැකිය යුතුය. ඒ වගේම නැවත එවැනි නින්දිත ප්‍රහාරයන් කලාකරුවන් ඉලක්ක කර සිදු කිරීමට ඉඩ නොතැබිය යුතුය. අප දන්නා කලාකරුවන් කිහිප දෙනෙකුම එම ප්‍රහාරයෙන් හානි වී තිබුණු බවද ඇත්තය. එම සිද්දිය ජනතාව තුල මහත් කල කිරීමක් ඇති කිරීමට සමත් විය. කෙසේ නමුත් ඊට පසු දින පැවැත්වූ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී සිදු වුයේ කුමක්ද. එම මාධ්‍ය හමුව අවසානයේ කෙතරම් ඡන්ද සංඛ්‍යාවක් තමන් වෙත හරවා ගැනීමට තිබුණිද. නමුත් එය එසේ සිදු වුනාද. නැත, මම සිතන පරිදිනම් ඔවුන්ට ලැබුණු අවස්ථාව ඔවුන්ගේ කෙනෙකු නිසාම මගහැර ගත්තා පමණි. තමන් වෙත ප්‍රහාරයක් එල්ල වුනු විට තරහ යන එක සාමාන්‍ය දෙයක් බව ඇත්ත නමුත්, මෙවැනි අවස්ථාවක එසේ කෝප වීමෙන් සිදු වන හානිය ඊට වඩා වැඩිය. 

එම මාධ්‍ය හමුවෙදී සිදුකල ලොකුම ගොන් වැඩේ නම් ජගත් මනුවරණ නමැති දක්ෂ කලාකරුවාට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීමයි. මට ඔහු සමග කිසිම තරහක් හෝ ප්‍රශ්නයක් නැත. නමුත් ඔහුගේ ප්‍රකාශයේ තිබුණු ආවේගශිලිත්වය මගින් ඇති වුනු අවාසි සහගත තත්වය ගැන මට සිතුනු දේවල් පමණක් මෙහිදී සඳහන් කිරීමට අදහස් කලා. ඔහු ආවේගශීලිව පැවසුවේ කුමක්ද. ඔහු පැවසුවේ මෙයයි"මේ කාලකන්නි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවේ, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියන මේ අරුමෝසම් හින්දි ෆිල්ම් එකට මාව ජාතක කරපු වෙලාවේ මගේ අම්මටයි තාත්තාටයි හිතුනේ නැත්තේ ඇයි මගේ බෙල්ල මිරිකලා කාණුවකට වීසි කරන්න, මට ලැම්බෝගිනි එකක් අරන් දීපල්ලා. මුන් එක්ක රේස් පදින්න". මෙය මාධ්‍ය ආයතන වලට පට්ටම නිවුස් එකකි. ඔවුන්ට මේ ප්‍රකාශය සුපිරියටම මාකට් කිරීමට හැකියි. මෙවැනි මාධ්‍යය දැනුවත් කරන්නාවූ අවස්ථාවක මෙසේ අදහස් දැක්වීම මගින් මිනිසුන්ගේ හිත්වල කලාකරුවා කෙරෙහි ඇතිවන හැඟීම කුමක්ද.

"මේ කාලකන්නි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවේ" ඒ කියන්නෙ ඔහු ඉපදෙනකොටත් මේක කාලකන්නි රටක් එහෙම නැතිනම් ඩිස්නිලන්තයක් හැබැයි කාලකන්නි. යකෝ ඒ කාලෙ රට පාලනය කලේ කවුද දන්නෙ නෑ. එතකොට මාමත් ඉලන්දාරි මන්ත්‍රී කෙනෙක් වෙන්න ඇති නොවැ. ඒ වගේම ඔහු දැන් පක්ෂව සිටින්නේ ඒ කාලෙත් දැන් වගේම රට කාලකන්නි කරපු අය එක්ක නෙමේද දන්නෙත් නැති ගානයි.  "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියන මේ අරුමෝසම් හින්දි ෆිල්ම් එකට මාව ජාතක කරපු වෙලාවේ" ඔහුට අනුව මේ රට ලස්සන හින්දි ෆිලුම් එකකි.  හැබැයි ඔහුට අමතකයි මේ ෆිලුම් එකේම තමනුත් කලාකරුවෙක් වෙලා ඉන්න විත්තිය. ඔහු අද සිටින තැනට පත් වී සිටින්නෙ මේ රටේම නේද කියන එක ඔහුට අමතකවුන බවක් එතකොට මටනම් හිතුන.  "මගේ අම්මටයි තාත්තාටයි හිතුනේ නැත්තේ ඇයි මගේ බෙල්ල මිරිකලා කාණුවකට වීසි කරන්න" මෙන්න මේක නම් කලාකරුවෙක්ට දෙනෝදාහක් ඉස්සරහ කියා නිකමටවත් කියන්න කොහොමවත්ම හිතෙන්න විදිහක් නැහැ. මොකද කලාකරුවෙක් කියන්නෙ ගොඩක් සංවේදී කෙනෙක්. එහෙම කෙනෙක් කොහොමද තමන්ගෙ දෙමව්පියන්ට කියන්නෙ ඉපදිච්ච ගමන් මරල දාන්න එපැයි කියල. ඔන්න ඔය කොටස ඇහෙද්දී නම් මට ඔහුගේ සංවේදීතාවය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නට සමත් වුණා. ඔහු කෙසේ හඬා වැළපෙමින් එම ප්‍රකාශය කරත් එම වචන ටික ගොඩක් මිනිසුන් හට ඔහු කෙරේ තිබුණු ආදරය ප්‍රසාදය නැති කරන්නටත් එම කලාකරු පිරිස කෙරෙහිම තිබුණු අවධානයත් මදකට හෝ නැති කරන්නට සමත් වුණා.මට හිතුනෙ එක්කො මනුවරනලට ගහපු එකේ කේන්තිය ඔහුගේ ආදරණිය දෙමව්පියන් පිටින් යැව්ව එහෙම නැතිනම් පොරට ගොඩ කාලෙක ඉඳන් ඒ දෙමව්පියන් එක්ක කුමක් හෝ තරහක්, කේන්තියක් තියෙනව. අන්තිමේට මට මෙහෙමත් හිතුන.මනුවරණ කියන්නෙ මාක්ස් වදියෙක්ද. මොකද මම අහල තියෙන විදිහට මාක්ස්වාදීන්ට ආගමක්,ජාතියක්,අම්මෙක් අප්පෙක් කියල එකක් නැහැ.හැබැයි මෙන්න මේ අන්තිම ටික නම් කිසි අප්සට් එකක් නැහැ. "මට ලැම්බෝගිනි එකක් අරන් දීපල්ලා. මුන් එක්ක රේස් පදින්න" යකෝ මූ ලැම්බෝගිනිය ඉල්ලන්නෙ අපෙන්ද නැත්නම් දෙමව්පියන්ගෙන්ද. හැබැයි ඒ කතාවෙ නම් කිසිම වරදක් නැති පාටයි. රාජ කුමාරයන්ට ලම්බෝ පදින්නට හොඳ නම් අපි පැද්දම මක්ක වෙනවයි ආයෙ.

කෙසේ හෝ මට හිතෙන විදිහට මේ වගේ තීරණාත්මක මොහොතක ආවේගය නිසා ඔය වගේ ගොන් කතාවක් කිරීමෙන් කරගත්තේ ලොකු හානියක්. මොකද විරුද්ධ පාක්ෂිකයන්ට කියාගන්න දෙයක් නැතිව ඉන්න මේ වගේ වෙලාවක ඔය කතාව හොඳ කටගැස්මකි. ඒ වගේම අද හෙටම ඔය කතා කෑල්ල දාල වෙළඳ දැන්වීමක් වුවද සාදා ප්‍රචාරය කිරීමට නොහැකියැයි කාට කිව හැකිද. බොලිවුඩ් නළු නිළියන් පහකුත් එන්න ඉන්න එකේ ඕක මහ කජ්ජක්ද.කෙසේ හෝ කලාකරුවන්ට කිසිම විදිහකින් ප්‍රහාරයක් හිංසාවක් කිරීම නම් හොඳ දෙයක් නොවෙයි. මොකද අර ලූෂන් බුලත්සිංහල මහත්තයා කිව වගේ රටක පුජ්‍ය පක්ෂය ලඟට ඉන්නෙ කලාකරුවන් කියන එකත් අපි මතක තියා ගන්න ඕනෙ. ඒ වගේම කලාකරුවනුත් කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමේදී හිතට එන දේම පවසන්නෙ නැතිව කල්පනාකාරීව එම දේවල් ප්‍රකාශ කරන එක තමා හොඳ.   

ඔන්න ඉතින් මේක කියවල මාත් එක්ක අමනාප වෙන්න එහෙම එපා.මම මේ ලිපියේ ලිව්වෙ මගෙ පෞද්ගලික අදහස.මේක කියවන ඔබටත් වෙනස් අදහසක් තිබෙන්නට පුළුවන්.මම කැමතියි එම අදහසත් මේකෙ කමෙන්ට් එකක් විදිහට දානවනම්.

ඒ වගේම හෙටින් ආරම්භ වන 2015 නව වර්ෂය සියළු සිතුම් පතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා කියල ඔබ සියළු දෙනාටම ප්‍රර්ථනා කරනව. සියළු දෙනාටම ජය වේවා!!!


ෆොටෝ එක ගත්තෙ මෙතනින් :
http://static2.demotix.com/sites/default/files/imagecache/a_scale_large/400-9/photos/1288829939-the-protest--art-presentation-in-marseilles_496389.jpg

Thursday, December 25, 2014

අද මෙන් නොව එදා, අපි හිටියෙ ගොඩක් ලෙන්ගතුකමින්...

managepintharuwa



සිත ගියා මගෙ අතීතය වෙත නිකමට මෙන් එක් නිමේෂයකට 
මතකය ගලාගෙන ඇවිත් මවයි එදවස අප කල කී දෑ මොහොතකට 
කාලයක් පුරාවට ඇසුරු කළ ඒ සොඳුරු යුවතියන් ගැන 
අද මෙන් නොව එදා අපි හිටියෙ සිතින් ගොඩක් සමිපවය 

පැටළුනා එක් දිනක් අහම්බෙන් මෙන් කතා බහකට 
ගෙන ගියා බොහො දුරක් එම කතා බහ හැකි පමණ 
අද මෙන් නොව එදා අපි හිටියෙ සිතින් ගොඩක් සමිපවය  

සිත ගියා මගෙ එක් යුවතියක් වෙත ඔවුන් අතරින්ම  
වෙනකකට නොව ඇගේ ඇති අව්‍යජබවට සහ කරුණාබර කමට 
ට්‍රයි කළා හැම විටම පවසන්න මගෙ හැඟුම් ඇයට 
නමුත්, යට ගියා එම හැඟුම් බය නිසා මගෙ හදවතට 
අද මෙන් නොව එදා මම අහිංසක කොල්ලෙකි හිටිය කඳුකර ගමක 

ගත උනා කාලයක් එලෙස දිය කර මගෙ හැඟුම් 
හිතෙනවා ඇය හටද දැනෙන්නට ඇති සිතුම් 
දන්නෙ නෑ මේ බවක් මා හැර කිසි කෙනෙක් 
අද මෙන් නොව එදා මට නැහැ කිසි අත්දැකුම් 

දැඩි වෙමින් මිතු බැඳුම් කල් ගියා දෙවසරක් පමණ 
අප කෙමින් වෙන් වෙන්න යන බවක් පෙනෙන්නට උනා මට 
ඇති වෙමින් අඬ දබර සපත කළා එම ලකුණු තව තවත් මා හට 
පෙර මා සිතු ලෙසම ඇති උනා නොයෙක් තහනම්ද අප අතර 
අද මෙන්ම එදා වුව  දැනුන එය මගෙ පපු කැවුත තුළටම 

ගතවුණා කාලයක් හිත ගියා මගෙ සවාරියක් 
තවකෙකුට, වෙනකෙකු නොව ඇගෙම මිතුරිය වෙතට 
ඇති කළා නව දෙබස් නව හැඟුම් මගෙ සිත් සතන් තුළට 
කල් ගියා ඇය සමගද පෙර මා හිටි හැටි ලෙසම 
අද වගේ නොව එදා එය හරිම රසවත්

දින පතා ඇති උනත් නොයෙක් විද  වූ දෙබස් 
තව තවත් ලං උනේ හිත මගේ ඇය වෙතයි 
වැඩි වෙමින් අප බැඳුම් වගෙම නොයෙකුත් හැඟුම් 
ලං උනා අපි සිතින් එක් වෙමින් තව තවත් 
අද මෙන් නොව එව්ව හරිම  කුල්මත් 

යද්දී තව කාලයක් ඇති උනා පෙර ලෙසම 
නොයෙක් විද බාධා, එහෙම නැති නම් රෙඩ් ලයිට් 
වෙන දෙයක් උනාවෙන් කියා සිතමින් මචං 
කිව්ව මගෙ අදහස් ඇයට නම් ඇත්තටම ඩිරෙක්ට් 
එදා මෙන් නොව දැන් කොල්ලගේ හිත බලවත් ඒ වගෙම හරි පොහොසත් 

අහෝ දුකකි ශෝකාන්තයකි 
වෙන කෙනෙකු ඇති බවක් පවසයි ඇයද මට ඩිරෙක්ට් 
මගේ ආදරයට සුනාමි ගැහුවා වගෙ දැනුන මට ඕයේස්
අද මෙන් නොව එදා මට නොඉඳුල් හදවතක් සතු වූ නිසා වෙන්නැති මචං 

රස වින්ද ඇති පදම් විරහවේ ගුණ කඳන් 
කල් ගියා අඩු උනා විරහවේ දැක්ක ආඩම්බරකම් 
දුන්නු උපදේශයෙන් නැති උනා අපෙ අපැහැදිලි තැන් 
පිං සිද්ද වෙන්නට ඇගෙ කරුණාබර හදට සත්තකින් 
එදා මෙන් නොව අද එම වදන් මට නම් ඇත්තටම මසුරං 

නැති නමුත් අප අතර කිසිම අමනාපයක් 
පෙනෙන්නේ දෙදෙනාම ඔවුන්ගේ ලෝක තනාගෙන ඇති බවකි මට නම් 
ඉඳ හිටක මුණගැසී අප ටිකක් දොඩමළු උනත් 
දකින්නට නැත පෙර මෙන් බැඳුම් ඔවුන්ගෙන් මට දැන් නම් 
ඇසූ විට පෙර ලෙසින් නොයෙක් විද කරුණුත් 
හිතේ මට එව්ව දැනගත් පසු මෙන්න මෙහෙමත් 

අම්මපා දැන් මුන්ගෙ තියෙනා ලොකු කම්  :D 


                        ~~~මනා~~~ 

Sunday, December 21, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 6


managepintharuwa_guitar_lesson

සුභ දවසක් සියළු දෙනාටම. අද මම මේ පෝස්ට් එකෙන් කතා කරන්නෙ අපි මෙතෙක් කතා කරපු ගිටාර් කෝඩ්ස් අල්ලන ක්‍රම සියල්ලම ආවරණය වන විදිහේ පොඩි අභ්‍යාසයක්. මම මෙතෙක් කතා කරලා තියෙන්නෙ ඕපන් කෝඩ්ස් සහ එම ඕපන් කෝඩ්ස් වලින්ම ඉදිරියට විකාශනය වන තවත් ක්‍රම දෙකක් ගැනයි. එම ලිපි බලපු නැති අය සහ එම කරුණු අමතක අය නැවත ගිහින් පරණ ලිපි ටික බලල එන්න කියල ඉල්ලීමක් කරනව. අදත් මම මේ අභ්‍යාසය වීඩියෝස් කිහිපයකට තමා කරල තියෙන්නෙ. මුලින්ම කියන්න ඕනෙ, මෙම පෝස්ටුව පුරාවටම කතා කරන්නෙ කෝඩ්ස් හතරක් ගැන පමණයි. අපි මෙතෙක් කතා කරපු ක්‍රම වලට එම කෝඩ්ස්හතර අල්ලන ක්‍රම තමා අභ්‍යාස හැටියට තියෙන්නෙ. අද අපි යොදාගන්න බලාපොරොත්තු වන කෝඩ්ස් තමා,

D මේජර් , B මයිනර් , G මේජර් , A මේජර්   


මුලින්ම බලමු මෙම එක් එක් කෝඩ්ස් අපි මෙතෙක් කල් කතා කරපු ක්‍රම වලට අල්ලන්නෙ කොහොමද කියල.

                                                              

                                                                   D මේජර් 




                                                               B මයිනර්




                                                               G මේජර්




                                                               A මේජර්

හරි දැන් ඔයාලට මෙම කෝඩ්ස් අල්ලන හැටි ගැන දැන් ප්‍රශ්නයක් නැහැ කියල මනා හිතනවා.දැන් තමයි අපේ අභ්‍යාසයට යන්නෙ. මෙහිදී මුලින්ම කියන්න ඕනෙ, මම මේ කෝඩ්ස් හතර අල්ලන ආකාර තුනක් තමා අද අභ්‍යාස විදිහට කරන්නෙ. මේ හැම ක්‍රමයක්ම ඉතාම වැදගත්. ඒක නිසා ටිකක් අවධානයෙන් සහ උවමනාවෙන් මේ අභ්‍යාස පුරුදු වෙන්න.
පළවෙනි අභ්‍යාසයෙන් කතා කරන්නෙ කොහොමද මේ D මේජර් , B මයිනර් , G මේජර් , A මේජර් කියන කෝඩ්ස් ඕපන් කෝඩ්ස් විදිහට භාවිතා කරල වාදනය කරන්නෙ කියල.






මේ තියෙන්නෙ දෙවන අභ්‍යාසය. මෙම ක්‍රමයේදී D මේජර් , B මයිනර්  කියන කෝඩ්ස් දෙක ඕපන් කෝඩ්ස් වන අතර G මේජර් , A මේජර් යන කෝඩ්ස් මිට කලින් පාඩමේදී කතා කරපු ආකාරය භාවිතයෙන් තමා අල්ලනනෙ.





මේ තියෙන්නෙ අන්තිම අභ්‍යාසය. මෙහිදී අපි ඕපන් කෝඩ්ස් වෙනුවට එමගින් ඉදිරියට විකාශනයවුනු කෝඩ්ස් අල්ලන ක්‍රම භාවිත කරල තමා වාදනය කිරීම සිදු කරන්නෙ. මෙම ක්‍රමය ගොඩක්ම ගැලපෙන්නෙ ඉලෙක්ට්‍රික් ගිටාරයක් යොදා ගනිමින් වාදනය කරන්නටයි. නමුත් බොක්ස් ගිටාර් එකෙනුත් මේ අභ්‍යාසය හොඳට වාදනය කරන්න පුළුවන්. හරි එහෙනම් මේකත් හොඳට පුරුදු වෙන්නකො.




ඉතින් දැන් ඔයාලට තේරුම් යන්න ඇති මම මොකද මෙච්චර කල් පාඩම් ගොඩක් විදිහට මේ එක එක කෝඩ්ස් අල්ලන හැටි ගැන වෙනම කතා කලේ සහ කරන්නෙ කියල. තව එක ක්‍රමයක් ගැන ඔයාලට මුලිකව කියල දෙන්න තියෙනව. අපි ඒක ගැන ඉදිරියේදී කතා කරමු.ඊට පස්සේ තියෙන්නේ තව හොඳට මෙම ක්‍රම ටික යොදාගෙන අභ්‍යාස කරන ගමන්, ඔයාල ආදරය කරන ආස කරන ගීත වාදනය කිරීමට ආරම්භය ලබා ගැනීමටයි. එතකන් තව ටික කාලයක් හදිස්සි වෙන්නෙ නැතුව මෙම අභ්‍යාස ටික හොඳට පුරුදු වෙන්න උත්සහ කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් සහ අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. අද පෝස්ට් එක නම් එච්චර දිගු උනේ නැහැ :D. එහෙනම් මේ ටික හොඳට පුරුදු වෙන්න. ඇඟිලි මාරු කරද්දී ටිකක් අවධානයෙන් සහ ආයාසයෙන් කරන්න ඕන වෙනව මුලින්ම ගිටාරය වාදනය කරන කෙනෙක්ට නම්. ඒ වගේම ඔයාලගෙ ගිටාර් එකේ තියෙන්නේ මෙටල් ස්ට්‍රින්ග්ස් නම් මුලින්ම පුරුදු වෙද්දී ඇඟිලි තුඩු කැපිල නිකන් කානු වගේ වෙයි :D.එත් ඒවා හොඳ උනාට පස්සෙ ආයෙ එහෙම ලේසියෙන් වෙන්නෙ නැහැ. මුලින්ම ඉතින් පොඩ්ඩක් එපා වෙනව. ඕන දෙයක් එහෙමනෙ සාමාන්‍යයෙන්.පොඩි කැප කිරීමක් කරන්න ඕනෙ. හරි එහෙනම් දැනට මේ ඇති. ගැටළුවක් තියෙනවනම් හිතේ තියන් ඉන්නෙ නැතුව කමෙන්ට් එකක් දාල අහන්නත් අමතක කරන්න එපා. තවත් පෝස්ට් එකකින් හම්බවෙමු එහෙනම්. ජය වේවා!!! 

Sunday, December 7, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 5


guitar_lesson_managepintharuwa
සුභ දවසක් ඔයාල සියළු දෙනාටම. පසු ගිය පෝස්ටුවෙන් අපි මෙතෙක් ඉගෙන ගත්ත ඕපන් කෝඩ්ස් වලින් අභ්‍යාසයක් කතා කලා ඔයාලට මතක ඇති. ඉතින් ඔයාල ඒක පුරුදු වෙන්න උත්සහයක් දැරුවානම් තේරුම් යන්න ඇති ඒ තිබ්බ කෝඩ්ස් ටික මාරු කරන්න ටිකක් අපහසු බව. මම කලින් පෝස්ට් එකකදී කීව මතක ඇති එක කෝඩ් එකක් ඇල්ලිය හැකි ආකාරයන් කිහිපයක් තිබෙන බව. අන්න ඒ විදිහට විවිධ ක්‍රම ගොඩක් තියෙන්නෙ කෝඩ්ස් මාරු කිරීමේදී ඇති විය හැකි අපහසුතාවයන් අඩු කර ගැනීමටයි. ඒ කියන්නෙ අපි වාදනයක් ඉදිරිපත් කරද්දී තිබෙන කෝඩ්ස් සියල්ලම ෆ්රෙට් බෝර්ඩ් එකේ ෆ්රෙට්ස් කිහිපයක් අතර වාදනය කිරීමට පුළුවන් කමක් තියෙනව. එහෙම කරද්දී අර කීව ක්‍රම සියල්ලම යොදා ගෙන ඉතා පහසුවෙන් කෝඩ්ස් මාරු කිරීම සිදු කල හැකියි. ඉතින් ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2, 3 කියන පෝස්ට් වලදී අපි එහෙම ක්‍රම කීපයක් ගැන කතා කලා. අද පෝස්ට් එකෙනුත් ඒ වගේ තවත් ක්‍රමයක් ගැන තමා කතා කරන්න යන්නෙ.     

මෙම ක්‍රමයත් ඕපන් කෝඩ්ස් වලදී කතා කරපු E මේජර්/මයිනර් සහ  F  මේජර්/මයිනර්  කෝඩ්ස් අල්ලන ආකාරයම ෆ්රෙට් බෝර්ඩ් එක ඉදිරියට විකාශනය වන හැටි තමා කතා කරන්නෙ. සරළවම කිවොත් ඕපන් කෝඩ්ස් වලදී කතා කරපු  E මේජර්/මයිනර් කෝඩ් එකේ ඉඳන් ෆ්රෙට් බෝර්ඩ් එක ඉදිරියට යන්නෙ කොහොමද කියල තමා අද කතා කරන්නෙ.

මේ තියෙන්නෙ ඕපන් කෝඩ්ස් වලදී කතා කරපු  E මේජර්/මයිනර් සහ  F  මේජර්/මයිනර් කෝඩ්ස් පිහිටල තියෙන ආකාරය.

E_Major
E_minor

F_major

F_minor


දැන් අපි ගිටාරයේ ස්වර පුවරුව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. මේ තිබෙන ස්වර පුවරුවේ හයිලයිට් (Highlight) කරල තියෙන ස්වර ටික මුලික කරගෙන හැදෙන මේජර් සහ මයිනර් කෝඩ්ස් අල්ලන ආකාරය තමා අපි අද කතා කරන්නෙ. එතැනදී ඉහත සඳහන් කරපු E මේජර්/මයිනර් සහ  F  මේජර්/මයිනර් කෝඩ්ස් හැදිලා තියෙන්නෙ ඔය හයිලයිට් වෙලා තියෙන ස්වර වල උඩින්ම තියෙන E (ග) සහ F (ම) මුලික කරගෙනයි. එලෙස හයිලයිට් වෙලා තියෙන ස්වර ටිකට අදාළව මේජර් සහ මයිනර් කෝඩ්ස් සියල්ලම අල්ලන අකාරය ගැන තමා අද අපි කතා කරන්නෙ.

guitar_fret_board_managepintharuwa

මෙන්න මේ ආකාරයට තමා ඔය ක්‍රමය යොදාගෙන කෝඩ්ස් අල්ලද්දී ඇඟිලි තබා ගන්නෙ.

guitar_left_hand_right_hand_for_major

guitar_minor_code_left_right


ඒ වගේම ඔයාල මෙහිදී සිහියේ තබා ගන්න ඕන කරුණ තමා මෙම ස්වර පුවරුවේ තිබෙන ශාර්ප් (Sharp) හෝ ෆ්ලැට් (Flat) නෝට්ස් වලට අදාළවත් ඔය ක්‍රමයට කෝඩ්ස් ඇල්ලිය හැකි බව. එම ශාර්ප් (Sharp) හෝ ෆ්ලැට් (Flat) නෝට්ස් ඉහත රුපයේ සඳහන් කරල නැත්තෙ එම රූපය සංකීර්ණ වන නිසයි. ස්වර පිලිබඳ අවබෝධයෙන් ඔයාලට ඒ ස්වර ටික ඔය රුපයේ යෙදෙන හැටි මේ වන විට හිතාගන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒ ගැන තාම අවබෝධයක් නැති අය ස්වර සම්බන්ධ පෝස්ටුව බලල එන්න කියල මතක් කරනවා. ඒ වගේම මම මේ පෝස්ටුවෙන් පෙන්වන්නෙ මුලික ස්වර හතට (C , D , E ,F ,G , A ,B ) අදාල කෝඩ්ස් ටික පමණයි. ස්වර පිලිබඳ අවබෝධයෙන් ශාර්ප් (Sharp) හෝ ෆ්ලැට් (Flat) නෝට්ස් වලට අදාළ කෝඩ්ස් යෙදෙන හැටි ඔයාලට හොයාගන්න දැන් පුළුවන්.

                                                                මේජර් කෝඩ්ස් 

F_major_G_major

A_major_B_major

C_major_D_major

E_major


                                                               මයිනර් කෝඩ්ස් 

F_minor_G_minor

A_minor_B_minor

C_minor_D_minor

E_minor


ඉහතින් සඳහන් කරපු ක්‍රමය ගොඩක් වැදගත් එකක්. මෙම ක්‍රමයට කෝඩ්ස් තිබෙන ස්ථාන මතක තබා ගැනීම ඉතාම වැදගත් වෙනව. ඔයාල මෙම කෝඩ්ස් හොඳින් මතක තබා ගැනීමට උත්සහ කරන්න. ෆ්රෙට් අංක මතක තබා ගැනීම මගින් ඔය කෝඩ්ස් තිබෙන තැන් මතක තබා ගැනීමට සහ හුරු වීමට පුළුවන්. බොහෝ දෙනෙක්ගේ ගිටාර් වල පොසිෂන් මාර්කස් තිබෙනවා. එම පොසිෂන් මාක්ස් උපයෝගී කරගෙන මතක තබා ගැනීමටත් පුළුවන්.නමුත් ඔබට පොසිෂන් මාර්කස් නොමැති ක්ලැසිකල් ගිටාරයක් ගත්විට එලෙස හුරු වීමට අපහසුයි.හොඳම ක්‍රමයනම් ෆ්රෙට් අංක මතක තබා ගෙන හුරු වීමයි. නිරන්තර පුහුණු වීම මගින් මෙම කෝඩ්ස් ඔයාලට ඉක්මනටම මතක තබා ගැනීමට පුළුවන් වේවි. ඊළඟ ගිටාරය සම්බන්ධ ලිපියේදී මම නැවතත් අභ්‍යාසයක් කිරීමට බලාපොරොත්තු වෙනව. එතකන් මෙම කෝඩ්ස් අල්ලන ආකාරයන් හොඳින් පුරුදු වන්න. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. හැම දෙනාටම ජය වේවා!!!   

Friday, November 28, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 4




Guitar_lesson

සුභ දවසක් හැමදෙනාටම. මම අද කතා කරන්නෙත් අපි කලින් කතා කරපු ගිටාර් වාදනය හා සම්බන්ධවයිඅද මම ඔයාලට මේ පෝස්ට් එකෙන් අපි මෙතුවක් කල් කතා කරපු සහ ඉගෙන ගත්ත කරුණු වලින් අභ්‍යාසයක් කරන්න තමයි යන්නෙ. ඉතින් අද මුලින්ම මනාගෙ පින්තාරුව බලන කෙනෙක් ඉන්නවනම් මම කලින් කතා කරපු ගිටාර් වාදනය සම්බන්ධ ලිපි ටික කියවල එන්න කියල මතක් කරනව. වගේම මතක් කරන්න ඕනෙ කාරණය තමා මෙම අභ්‍යාසන් ටික මම පොඩි පොඩි වීඩියෝ කිහිපයක් හැටියට තමා ඉදිරිපත් කරන්නෙ. වීඩියෝස් හැම එකම පටන් ගන්න කලින් මම පුළුවන් තරම් හොඳට වෙන්නෙ මොකද්ද කියල තේරුම් කරල දෙන්න උත්සහ කරනව. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක්ට හොඳ ඉන්ටනෙට් පහසුකම් නෑ කියල මම දන්නව. ගොඩක් අය පොඩි ඩේටා කාඩ් එකක් දාගෙන එන්නෙ. ඉතින් මේ හැමදෙනාටම වැඩිය ඩේටා වැය නොකර බලන්න ඕනෙ නිසා මම මේ විඩියෝස් වල කොලිටි එක පුළුවන් තරම් අඩු කරල තමා මේ පොස්ට් එකට ඇතුලත් කලේ. ඉතින් එක නිසා මෙම වීඩියෝ එකේ සවුන්ඩ් කොලිටි එක ටිකක් අඩුයි.හැබැයි ඒක අපේ අභ්‍යාස පුරුදු වීමට හොඳටම ප්‍රමාණවත්. ඒවගේම අනිත් කාරණය තමයි මෙම විඩියෝස් වල තියෙන්නෙ දකුණත් කරුවන් වාදනය කරන ආකාරය පමණයි. මට මේ විඩියෝස් අනිත් පැත්ත හරවල එයාලටත් පුරුදු වෙන්න පුළුවන් විදිහට එඩිට් කරන්න උත්සහ කලත් මේ වෙනකන් ඒක කරගන්න බැරි උනා.ඊළඟ පෝස්ට් එකෙන් එකත් කොහොම හරි හදල ඉදිරිපත් කරන්නම්. එතකන් ඔයාල මේ විඩියෝස් ටික බලල වාදනය කරන්න උත්සහ කරන්න. හරි එහෙනම් අපි පාඩමට යමු.

අද මම කතා කරන සෑම අභ්‍යාසයක්ම වාදනය කරන්නෙ අපි කලින් ලිපි වලින් කතා කරපු ඕපන් කෝඩ්ස් (Open Chords) භාවිතා කරමින් බව මතකයේ තබා ගන්න. මම මේ ලිපිය පුරාවටම යොදා ගන්නේ C (C මේජර්), Am (A මයිනර්), F (F මේජර්), G (G මේජර්) යන කෝඩ්ස් හතර පමණයි. කෝඩ්ස් අල්ලන ආකාරය අමතක අය ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2 පෝසටුවේ කතා කරන ලද කෝඩ්ස් ටික නැවත බලල එන්න.

මුලින්ම අභ්‍යාසයට යන්න කලින් දැනගන්න ඕන කරුණු කිහිපයක් තියෙනව. විශේෂයෙන්ම මොකක් හරි නිර්මාණයක් කරද්දී/ වාදනය කරද්දී එකට අදාළ වන තාලයක් තියෙනව කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන් නෙ. අන්න විදිහට නිර්මාණයකට යොදා ගන්න පුළුවන් තාල කිහිපයක් සංගීතයේදී හමු වෙනවා. ඒවට බටහිර සංගීතයේදී කියන්නෙ Time Signatures (ටයිම් සිග්නේචර්ස්) කියල. මෙන්න මේ Time Signatures වලට අනුකුලව ගිටාරය වාදනය කරන ආකාරයත් වෙනස් වෙනව. කියන්නෙ පික් එකක් යොදාගෙන හරි එහෙම නැති නම් ඇඟිලි උපයෝගී කරගෙන ගිටාරය වාදනය කරන්න පුළුවන් ආකාරයන් වෙනස් වෙනවා. එහෙම වාදනය කරනවට කියන්නෙ Strumming (ස්ට්‍රමින්) කියලස්ට්‍රමින් ගැන අපි අපේ අභ්‍යාසයට යන්න කලින් පොඩ්ඩක් කතා කරනව මෙම ලිපියේ අවසන් හරියේදීමෙහෙම Time Signatures කිහිපයක් තිබුනත් මම ඔයාලට මුලිකව යොදාගන්න Time Signatures ගැන විතරයි මේ පොස්ටුවෙන් කියන්නෙ. ප්‍රධාන වශයෙන් Time Signatures හතරක් මම අද කතා කරනවා.

1) Two four (2/4)
2) Three four (3/4)
3) Four four (4/4)
4) Six eight (6/8)

ඔයාල ගොඩ දෙනෙක් මේව ගැන සමහරවිට දන්නව ඇති.

1) Two four (2/4)

මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය පහත වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස H.R.ජෝතිපාල මහතා ගායනා කරන ලද ආදර මල් පවනේ ගීතය ගෙනහැර දක්වන්න පුළුවන්.







2) Three four (3/4)

මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය මෙම වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස  ගුණදාස කපුගේ මහතා ගායනා කරන ලද දුක හාදු දෙන රැයේ ගීතය, රූකාන්ත ගුණතිලක මහතා ගායනය කරන ලද අනාත මාරුතේ ගීතය ගෙනහැර දක්වන්න පුළුවන්.






3) Four four (4/4)

මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය මෙම වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස  ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගායනා කරන ලද හිරුගේ ලොවේදී ගීතය, රූකාන්ත ගුණතිලක මහතා ගායනය කරන ලද දවසක් දා (රේණු රේණු මල් මිටේ රේණු), මේ දිගන්තයේ ගීත ගෙනහැර දක්වන්න පුළුවන්.





4) Six eight (6/8)


මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය මෙම වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස  ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගායනා කරන ලද සැන්දෑ වලාවන් පා උනාවේ ගීතය, H.R.ජෝතිපාල මහතා ගායනය කරන ලද උන්මාදිනියේ වෙන්වී යන පිටුපාලා , ඇයි දැන් එපා වෙලා  ගීත ගෙනහැර දක්වන්න පුළුවන්. ගොඩ දෙනෙක් මේ ආකාරය හඳුන් වන්නේ බිස්කට් කුඩු ලෙසය :D. තරමට මේ ආකාරය ජනප්‍රිය වී ඇත.







දැන් අපි බලමු මම මුලින් කතා කරන ලද ස්ට්‍රමින් කරන්නෙ කොහොමද කියල. මෙහිදී විවිධ ආකාරයෙන් ස්ට්‍රමින්  කරන්න පුළුවන්. මම මුලිකව යොදාගන්න පුළුවන් ස්ට්‍රමින් කිහිපයක් තමා මෙම පෝස්ටුවෙන් පෙන්වන්නෙ. විශේෂයෙන්ම පික් එකක් භාවිතා කරල වාදනය කරද්දී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට වාදනය කල හැකිය. Upstroke (අප් ස්ට්‍රෝක්) සහ Down Stroke (ඩවුන් ස්ට්‍රෝක්) ලෙස එම ක්‍රම දෙක හඳුන්වනවා. පික් එක ගිටාරයේ පහල තතේ(String) සිට ඉහලට වාදනය කිරීම  Upstroke (අප් ස්ට්‍රෝක්) ලෙස හඳුන් වන අතර  ගිටාරයේ ඉහල තතේ(String) සිට පහලට වාදනය කිරීම Down Stroke (ඩවුන් ස්ට්‍රෝක්) ලෙස හඳුන්වනු ලබයි. මෙම ක්‍ර දෙක මගින් ඇතිවන හඬේහී පැහැදිලි වෙනසක් ඇත. මෙම ක්‍රම මුලිකව පුරුදු උනාට පසුව අපිට සංකීර්ණ ලෙස වාදනය කරන ආකාරයන් ඉගෙන ගැනීමට පුළුවන්. මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් අදාල සිග්නේචර් එකේ නමට අදාලව ඇතුලත් කරන්නම්.

1) Two four (2/4) ස්ට්‍රමින්





2) Three four (3/4) ස්ට්‍රමින්





3) Four four (4/4) ස්ට්‍රමින්





4) Six eight (6/8) ස්ට්‍රමින්





හරි මෙන්න අද අභ්‍යාස. ඔයාල කවුරුත් දන්න, ආදරය කරන ප්‍රියා සූරියසේන මහතා ගයනා කරන ලද බොහොම ලස්සන ගීතයක් තමා ඔයාලට පුරුදු කරන්නෙ. හැබැයි මම මේ වාදනය කරන කෝඩ්ස් මෙම ගීතයේ මුල් වාදනයට වඩා වෙනස්. මෙම ගීතයේ මුල් වාදනය (Original Song එක) A මේජර් කෝඩ් එක මුලික කරගෙන තමා නිර්මාණය කරල තියෙන්නෙ. නමුත් මම එම ගීතය C මේජර් කෝඩ් එක මුල් කරගෙන වාදනය කරන හැටි තමා අද කියල දෙන්නෙ. ඒකට හේතුවක් තියෙනව. ඒක මම ඉදිරි පාඩම් වලදී කියල දෙන්නම්. මෙම අභ්‍යාසයේදී මෙම ගීතයේ පෙර වාදනය (Music) නැතිව ගීතය පමණක් මුලික කරගෙන මෙම කෝඩ්ස් යොදා ගෙන ඇති බවත් මතකයේ තබා ගන්න. මෙය Six eight (6/8) ආකාරයට යන ගීතයකි. යොදා ගෙන ඇත්තේ කලින් වීඩියෝ ක්ලිප්ස් වල තිබුණු කෝඩ්ස් හතරම තමයි :).


                          |       C       |      Am      |        F        |        G         |


මෙම වීඩියෝව හොඳින් අධ්‍යනය කරල ඇඟිලි මාරු කරන අකාරය හොඳින් පුරුදු පුහුණු වෙන්න. මට මෙම ගීතයේ වචන අමතක නිසා "නා නා" කියල තමයි ගයනා කලේ :D. එව වැඩිය ගණන් ගන්න එපා.







එහෙනම් හොඳින් පුරුදු වෙන්න. මෙම ගීතය වාදනය කිරීමට පුරුදු වූ පමණින් මමත් දැන් ගිටාර් වාදකයෙක් තමා කියල හිතන්න නම් එපා. මොකද මෙම ලිපියෙන් කතා කරල තියෙන්නෙ ඉතාම සුළු දේවල් ටිකක් ප්‍රයෝගිකව පුහුණු වෙන ආකාරය පමණක් නිසා. තවත් ගොඩක් දේවල් ඉගෙන ගැනීමට තිබෙන බව අමතක කරන්න නම් එපා.  හැම දෙනාටම ජය වේවා!!!